Monday, July 25, 2011

.

ඓතිහාසික ටෙස්ට් තරගයේ ජය එංගලන්තයට

ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ පවත්වන්නට යෙදුණ 2000 වන ටේස්ට් තරගයේ ජය ක්‍රිකට් ක්‍රීඩාවේ ඓතිහාසික උරුමයට නතු කර ගත් එංගලන්තය ලකුණු 196 කින් ජය ගන්නට මසත් වුණා.නවතම ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියෙන් සිටින ඉන්දියාව සිය තත්ත්වය ආරක්ෂා කර ගැනීමටත් එංගලන්තය බොහෝ කලෙකට පසුව ටෙස්ට් ශ්‍රේණිගත කිරීම් වල පළමුවැනියා වීමටත් තරග වදින මෙම තරගාවලියේ පළමු තරගයේ ජය එංගලන්තයට හිමි වීමට මූලිකවම බල පෑවේ කලෙකට පසුව ලකුණු අතරට පැමිණෙමින් එංගලන්ත පළමු ඉණිම ශක්තිමත් කළ කෙවින් පීටර්සන් ගේ ඉණිමයි.


හතරේ පහර 21 සහ එක් හයේ පහරක් සමගින් ලකුණු 202 ක් නොදැවී ලබා ගත් පීටර්සන් මෙන්ම පළමු ඉණිමේ දී ලකුණු 71 සහ දෙවන ඉණිමේ දී එංගලන්ත ඉණිම බරපතල කඩා වැටීමකට ලක්ව තිබිය දී පීඩනයට එරෙහිව ප්‍රති පීඩනයක් ගොඩ නගමින් නොදැවී වේගවත් ශතකයක් රැස් කළ (103) මැට් පියර් මෙම තරගය එංගලන්තයට දිනා දීමට මූලික වූ පිතිකරුවන් වූවා.පන්දු යවන්නන් අතරින් ඉන්දීය මුල් ඉණිම ලකුණු 286 ට සීමා කරන්නට මූලික වෙමින් ලකුණු 37 කඩුලු 04 ක් දවා ගත් ක්‍රීස් බෝඩ් සහ ‍ඉන්දීය දෙවන ඉණිමේ ලකුණු පූවරුව ලකුණු 261 ට සීමා කරන්නට මූලික වූ ලකුණු 65 ට කඩුලු 05 ක් දවා ගත් ජෙම්ස් ඇන්ඩර්සන් කැපී පෙණුනා.


ඉන්දීය පළමු ඉණිම කඩා වැටෙන්නට නොදී රැක ගැනීමට මහත් ප්‍රයත්නයක් දැරූ පළපුරුදු රාහුල් ඩ්‍රාවිඩ් එංගලන්ත පන්දු යවන්නන්ට සිය කඩුල්ල ලබා නොදෙමින් ලකුණු 103 ක් ලැබූ අතර ඔහුට අර්ධ ශතකයක් සහිත ඉණිමකින් හෝ දායක වන්නට කිසිදු ඉන්දීය පිතිකරුවෙකු සමත් වූයේ නැහැ. දෙවන ඉණිමේ දී සුරේෂ් රයිනා (78) සහ වීවීඑස් ලක්ෂ්මන් (56) අර්ධ ශතක ලබා ගත්ත ද එය සුළි සුළගත් වැළක්වීඹට තිරකඩක් එලීමක් බදු වෑයමක් බවට පත් කළ එංගලන්තය ලකුණු 196 කින් ජයග්‍රහණය කළා.


එසේම එංගලන්ත පළමු ඉණිම ආරම්බයේ ම එංගලන්තයට අබියෝගයක් වන ආකාරයෙන් පන්දුව හැසිර වූ සහීර් ඛාන් ගේ සේවය ආබාධයක් නිසා ඉන්දීය පිළට අහිමි වීම ද මෙම ඓතිහාසික ටෙස්ට් පරාජ‍යට විශාල වශයෙන් බල පෑවා.කලෙකට පසුව ලකුණු අතරට පැමිණෙමින් අපූරු ද්විත්ව ශතකයක් රැස් කළ කෙවින් පීටර්සන් ඓතිහාසික 2000 වන ටෙස්ට් තරගයේ වීරයා බවට පත් වුණා.


තරගයේ සමස්ත ලකුණු විස්තරයට පහත සදහන් සබැදියාවෙන් ප්‍රවේශ විය හැකියි.
http://www.espncricinfo.com/england-v-india-2011/engine/current/match/474472.html


Tue, Jul 26, 2011 at 4:28 AM